ස්වාධිපත්‍ය සංකල්පය
16 වන සියවසේ පාප් අධිරාජ්‍ය බිද වැටෙමින් යුරෝපය පුරා ආරම්භ වන ජාතික රාජ්‍ය ක්‍රමය තහවුරු කිරීම සදහා අවශ්‍ය වූ දේශපාලන පදනම මූලික දේශපාලන සංකල්ප දෙකක් මගින් සපයනු ලැබීය.
1. සමාජ සම්මුතිවාදය
2. ස්වාධිපත්‍යවාදය
වශයෙනි. ජාතික රාජ්‍ය ක්රමයේ ආරම්භය පිළිබදව තර්කානුකූලව හා සංවිධානාත්මක භෞතික පදනමක් සමාජ සම්මුතිවාදය තුළින්ද, ජාතික රාජ්‍ය සතු බල අධිකාරයේ ස්වාභාවය සහ එය ක්‍රියාවට නැංවෙන ආකාරය පිළිබද දේශපාලන විග්‍රහයක් ස්වාධිපත්‍යවාදය මගින් ඉදිරිපත් කරනු ලැබීය. ස්වාධිපත්‍යවාදය බාහිර ස්වාධිපත්‍ය හා අභ්‍යන්තර ස්වාධිපත්‍ය වශයෙන් දෙයාකාරව දැකගත හැකිය.
**නිකලෝ මැකියාවෙල්ලි විසින් රාජ්‍ය බලය පිළිබද ඔහුගේ "The Prince" හෙවත් කුමාරයා ග්‍රන්ථයෙන් පෙන්වා දී ඇත්තේ මෙහි ප්‍රායෝගික පැතිකඩයි. න්‍යායාත්මක වශයෙන් ප්‍රංශ ජාතික ජින් බොඩෑන් (1576) විසින් රචිත "Six books concerning the state " හෙවත් "රාජ්‍ය පිළිබද ග්රන්ථ හයක්" කෘතියෙන් ස්වාධිපත්‍යවාදය පිළිබදව දක්වා ඇත්තේ, "රාජ්‍ය සතු බලය ස්වාධිපති බලය" ලෙසිනි. තවදුරටත් ඔහු,"කිසිදු නීතියකින් සීමා නොවුණ, යටත් වැසියන් කෙරෙහි යෙදවිය හැකි,රාජ්‍ය සතු උත්තරීතර හා ශ්‍රේෂ්ඨ බලය"පෙන්වා දෙයි. තවද බොඩෑන් විසින් ස්වාධිපති බලය තුළ පවතින මූලික ගුණාංග 03 ක් පෙන්වා දෙයි.
1. ඒකීයත්වය
2. බෙදිය නොහැකි බව
3. පැවරිය නොහැකි බව
යනුවෙනි. ඒකීයත්වය මූලධර්මය ආරක්ෂා වීමට නම් එක් අයෙකු වෙත බලය රදා පැවතිය යුතු වේ. යම් හෙයකින් පවරා දුනහොත් හෝ බෙදී ගියහොත් එය විනාශ වන බව බොඩෑන්ගේ අදහසයි. මෙමගින් බොඩෑන් අදහස් කර ඇත්තේ පුරවැසියන් පාලනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍යට හිමි බලය උත්තරීතර හා අපහාස එකක් වන බවත්, එහි උත්තරීතරභාවය ආරක්ෂා වීමට නම් එම බලය තනි පුද්ගලයෙකු විසින් ක්‍රියාවට නැංවිය යුතු බවත්ය. තවද එම බලය ක්‍රියාවට නැංවීමේදී ,
- දිව්‍යමය නීතිය
- ස්වාභාවික නීතිය
- ජාතීන්ගේ නීතිය
- ව්‍යවස්ථානුකූල නීතිය
යනාදි නීති මගින් සීමා නොවන බව පෙන්වා දෙයි. මෙම සීමාවන්ට යටත්ව ජාතියේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් ඕනෑම තීරණයක් ගැනීමේ බලය ස්වාධිපති බලයට හිමි වන බවයි. මෙමගින් ආඥාදායක පාලකයෙකු බිහි කිරීමට බොඩෑන් උත්සාහා දරා නොමැති බවද පෙනේ. ස්වාධිපති න්‍යාය බොඩෑන් විසින් ඉදිරිපත් කිරීමට හේතු ලෙස,
* ප්‍රංශය තුළ ශක්තිමත් මධ්‍යගත පාලනයක අවශ්‍යතාව
* රාජ්‍යයේ අභ්‍යන්තර පාලනය පල්ලියේ හා පාප්වහන්සේ බලපෑමෙන් නිදහස් කර ගැනීමේ අවශ්‍යතාව.
යනාදිය පෙනිවා දිය හැකිය.
**ස්වාධිපතිවාදය පිළිබද තවදුරටත් නීතිවේදියකු වූ හියුගෝ ග්රෝෂස් අදහස් දක්වා ඇත්තේ 1625 රචිත "International Law" හෙවත් "ජාත්‍යන්තර නීතිය" නැමැති කෘතියෙනි. ඔහුට අනුව, "බාහිර රාජ්‍යයක බලපෑමෙන් තොරව පාලනය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය වෙත හිමි වන බලය ස්වාධිපත්‍ය වේ. " ඒ අනුව අභ්‍යන්තර පාලනය සම්බන්ධව කිසිදු නීතිකට යටත් නොවූ උත්තරීතර බලයක් රාජ්‍යයට හිමි වන බවත්,භාහිර කරුණු අරභයා ජාත්‍යන්තර ක්ෂේත්රය තුළ රාජ්‍යයන් එන හා සමාන බවත් පෙන්වා දෙමින් හියුගෝ ග්රෝෂස් විසින් බාහිර ස්වාධිපත්‍යවාදය පිළිබද පමණක් කරුණු ඉදිරිපත් කරයි.
**ස්වාධිපත්‍යවාදය ගැන අදහස් දක්වන තෝමස් හොබ්ස් (1651) තමන් රචිත "Leviathan" එනම් "ලෙවියතාන් " කෘතියෙන් පෙන්වා දෙනුයේ,
- පාලකයා සතු බලය අසහාය වේ
- බෙදිය නොහැක
- පාලකයාගේ ආඥා නීති වේ
- එම නීතිවලට යටත් වැසියන් ප්‍රශ්න කිරීමකින් තොරව යටත් විය යුතුය
යනුවෙනි. එමගින් තෝමස් හොබ්ස් විසින් අසහාය ස්වාධිපත්‍යවාදය පිළිබද පමණක් කරුණු ඉදිරිපත් කර ඇත.
**ජෝන් ලොක් (1691) දී "Two Treatises on Civil Government" හෙවත් "සිවිල් ආණ්ඩුව පිළිබද සම්මුතීන් දෙකක්" කෘතියෙන් පෙන්වා දෙනුයේ, "සමාජයේ සීමිත කටයුතු කිහිපයක් පමණක් ඉටු කිරීම සදහා රාජ්‍ය වෙත පැවරෙන බලය" යනුවෙනි. ඊට අමතරව,
- රාජ්‍ය සතු උත්තරීතර බලයේ උල්පත මහජනතාව බවත්
- මහජනතාව සතු උත්තරීතර බලය ක්‍රියාවට නැංවීමට පාර්ලිමේන්තුවට පවරා දෙන බවත්
- නීති පැනවීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකය ස්වාධිපතිබලය භුක්ති විදින බවත්
පෙන්වා දෙමින් ජෝන් ලොක් විසින් සීමිත ස්වාධිපත්‍යවාදය පිළිබද පමණක් තම අදහස් දක්වයි.
** "Social Contract " හෙවත් " සමාජ සම්මුතිය" ග්‍රන්ථය රචනා කළ ජින් ජැක්වින් රූසෝ (1776) දක්වා ඇත්තේ, " බලයේ උල්පත මහජනතාවයි. පාලිතයන් වන්නේද, පාලකයන් වන්නේද මහජනතාවයි" වශයෙනි. තවදුරටත්,
- ස්වාධිපති බලය මුළු සමාජයට හිමි වේ
- පොදු කැමැත්ත මත ක්‍රියාත්මක වේ
යනුවෙන් ජින් ජැක්වින් රූසෝ විසින් මහජන ස්වාධීපත්යවාදය පිළිබද ඉදිරිපත් කරයි.
** ස්වාධිපති සංකල්පය පිළිබද පැහැදිලිව හා ක්‍රමවත් ලෙස නීතිමය නිර්වචනයක් ඉදිරිපත් කරන්නේ ඉංග්‍රීසි ජාතික ජෝන් ඔස්ටින් විසිනි. ඒ 1832 රචිත "Lectures on Jurisprudence" නම් කෘතියෙනි. එහි දක්වා ඇති පරිදි, "යම් නිශ්චිත උත්තරීතර පුද්ගලයෙකුට අවනත වීමක් නොමැතිව සමාජයේ වැඩිම දෙනෙකුගේ නිත්‍ය අවනත බව ලබා ගනීද, එම නිශ්චිත උත්තරීතර පුද්ගලයා එම සමාජයේ ස්වාධිපති වේ.එම සමාජය ස්වාධීන දේශපාලන සමාජයකි" යනුවෙනි. තවද ඔහුට අනුව මෙම න්‍යායේ ලක්ෂණ පහත පරිදි වේ.
- ස්වාධීන දේශපාලන සමාජයක ස්වාධිපතිවරයෙක් සිටී
- ස්වාධිපති තනි පුද්ගලයෙකු වීම අවශ්‍ය නොවේ
- ස්වාධිපත්‍ය අසීමිත වේ
- ස්වාධිපත්‍ය පැවරිය නොහැක
- ස්වාධිපත්‍ය බෙදිය නොහැක
- නීතිය යනු ස්වාධිපතිගේ ආඥා වේ
යනුවෙන් ජෝන් ඔස්ටින් විසින් නෛතික ස්වාධිපත්‍යවාදය පෙන්වා දෙයි.
මෙලෙස විවිධ විද්වතුන්ගේ විවිධ නිර්වචනයන් ස්වාධිපති සංකල්පය කෙරෙහි ලැබුණා සේම තවත් පිරිසක් ඔස්ටින්ගේ ස්වාධීපත්‍ය පිළිබද න්‍යාය විවේචනයටද ලක් කර ඇත.
** "නීතිය යනු ස්වාධිපතිගේ ආඥා වේ" විවේචනය කරයි.**
1."නීතිය යනු ස්වාධිපතිගේ ආඥා වේ" යන්න ජෝන් ඔස්ටින් පෙන්වා දෙන කාරණාව සර් හෙන්රි මේන් විසින් විවේචනය කරනු ලබයි.සර් හෙන්රි මේන්ට අනුව, ප්‍රායෝගික ඓතිහාසික කරුණු මගින්ද ඔස්ටින්ගේ න්‍යාය ඔප්පු කළ නොහැකි බව පෙන්වා දෙයි. සමාජ සිරිත් විරිත් හා සම්ප්‍රදායන් මගින්ද මිනිසුන්ගේ හැසිරීම් පාලනය වන බවත් පෙන්වා දෙමින් කළ යුතු දේ, නොකළ යුතු දේ ඉන් මනාව පෙන්වා දෙයි. නිදසුන් ලෙස,
*වැඩිහිටියන්ට ගරු කිරීම හා කීකරු වීම
* අවුරුද්දට බුලත් හුරුළු දී වැඩිහිටියන් නැමදීම
සාමාන්‍ය තත්ත්වය නම් මිනිසාගේ වර්ධනයත් සමග නීති වර්ධනයක් වීමයි. නීති වූ කලී සමාජ පරිණාමයේ ප්‍රතිඵලයක් මිස එක් පුද්ගලයෙකු විසින් තම අභිමතයට ප්‍රකාශයට පත් කරන දෙයක් නොවේ. වර්තමානයේ පුද්ගල නීතිය,අපරාධ නීතිය,දේපල නීතිය යනාදී නීති ගණනාවක් දැකගත හැකිය.
2. ලියෝන් ඩුගොයිට් ට අනුව,
- ස්වාධිපතිට අත්තනෝමතික ලෙස නීති පැනවිය නොහැකිය
- නීති පැනවීමේදී සමාජ තත්ත්වය සලකා බැලිය යුතුය
- පොදු සමාජ යහපත සදහාම විය යුතුය
නිදසුන් ලෙස, සොරකම් කිරීම හෝ මනුෂ්‍ය ඝාතනය සාපරාධී ක්‍රියාවකි. පොදු යහපතට හිතකර නොවේ. ස්වාධිපති විසින් ඉහත සාපරාධී ක්‍රියාවට අනුබල දෙන නීති පැනවීම නොකළ යුතුය. මන්ද ඉන් සමාජයට අයහපතක් සිදු වන නිසාවනි.
3. ලැස්කි හා මැක් අයිවර් ට අනුව,
- චාරිත්‍රානුකූල නීති කඩ නොකළ යුතුය
- එසේ කඩ කළ නීති පැනෙව්වද එම නීති සමාජය පිළිනොගන්නා බව
** "ස්වාධිපති බලය බෙදිය නොහැක.බෙදුවහොත් විනාශ වේ" විවේචනය කරයි.**
1. මහාචාර්ය ඒ.වී. ඩයිසි ට අනුව, නූතන ප්රජාතාන්ත්රවාදී පාලන ක්‍රම ආශ්‍රිතව ස්වාධිපතිත්වය කොටස් දෙකකට බෙදේ.
1.දේශපාලන ස්වාධිපති - මහජනතාව
2. නීතිමය ස්වාධිපති - ව්‍යවස්ථාදායකය
වශයෙනි. මේ අනුව ස්වාධිපති බලය කොටස් දෙකකට බෙදෙනවා මෙන්ම එකක් සතු බලය අනෙකාට පවරා දීමක්ද සිදු වේ.
2.සන්ධීය ආණ්ඩුක්රමය පවතින රාජ්‍යයන් වලද තල දෙකක ආණ්ඩු පවතී. එනම් මධ්‍යම ආණ්ඩු හා ප්‍රාන්ත ආණ්ඩු වේ. නිදසුන්, ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව තුළත් ප්‍රාන්ත ආණ්ඩුවන කැන්ටන් 26 තුළත් ස්වාධිපති බලය බෙදී පවතී.
3. හැමිල්ටන් ට අනුව, සන්ධීය ආණ්ඩුක්‍රම පවතින රාජ්‍යයවල පවතින්නේ ඛණ්ඩිත වූ ස්වාධිපත්යයකි
** "ස්වාධිපත්‍ය අසීමිත වේ" විවේචනය කරයි.**
1.බ්ලන්ටෂ්ලි ට අනුව, "රාජ්‍ය සතු බලය කිසිදු විටෙක අසහාය නොවේ,රාජ්‍යයේ ස්වාභාවය තුළින්ම එහි බාහිර ක්‍රියාකාරිත්වය සීමා වේ, පුරවැසි අයිතිවාසිකම් මගින් එහි අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය සීමා වේ " යනුවෙනි. නිදසුන් ලෙස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කළ යුතු, නොකළ යුතු දේ පෙන්වා දී ඇත.
2. හැරල්ඩ් ලැස්කි හා G. D. H. කෝල් ට අනුව, "රාජ්‍ය යනු සමාජයක් තුළ පවතින සමාජ දහස් සංඛාත සමාජ සංවිධාන අතුරින් එකක් පමණි" යනුවෙනි.නිදසුන් ලෙස, පල්ලිය, වෘත්තිය සමිති,දේශපාලන පක්ෂ යනාදියට යම් බලයක් හිමිවන අතර රාජ්‍යට අනිසි ලෙස මේවාට ඇගිලි ගැසිය නොහැකිය. එසේම රාජ්‍යට හිමිවන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම පමණි.
3. සීමා වීම
අභ්‍යන්තර වශයෙන්
*මහජන මතය- 1957 සූවස් ඇළ පිළිබද අර්බුදය
* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය- ලංකාවේ 20 වන සංශෝධනයට තුනෙන් දෙකක බලයක් මෙන්ම ජනමත විචාණරණයක් අවශ්‍ය වීම
* ඓතිහාසික ප්රඥප්ති
* ගිවිසුම්
බාහිර වශයෙන්
* අන්තර්ජාතික නීතිය- විදේශ තානාපතිවරුන්ට විදේශ නීතිය බල නොපායි
* විදේශ ගිවිසුම්- න්‍යෂ්ටික අපහරණය
* විදේශ ආක්‍රමණ
* විදේශ ණය
** "ස්වාධිපත්‍ය පැවරිය නොහැකිය" විවේචනය කරයි.**
1.ජනතාව වෙත පවතින ස්වාධිපති බලය ජනතාව විසින් නියෝජිතයන් හට පවරනු ලබයි. ආණ්ඩුව පාලනය ගෙන යන පුද්ගලයන් වෙත පවරයි. නිදසුන් ලෙස, මහාමැතිවරණ, පළාත් සභා මැතිවරණ, ජනාධිපතිවරණය
ස්වාධිපතිවාදයේ බිද වැටීම පසුව සනිටුහන් වේ. ඊට හේතු ලෙස ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කිරීම අපහසු වීම, ව්යවස්ථානුකූලයේ නැගී ඒම හා සන්ධීය ක්රමයේ ආරම්භය යනාදිය පෙන්වා දිය හැකිය.
සැකසුම- 😊නිපුනි භාග්‍යා පීරිස්, සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය😊
Veleuble
ReplyDelete👌
ReplyDelete