සමාජානුයෝජනය ඉංග්‍රීසි භාෂාවේ "Socialization" යනුවෙන් හදුන්වයි. මෙහි සරළ අර්ථය නම් "සමාජයට අනුගත වීමයි" දරුවන් ක්‍රම ක්‍රමයෙන් වැඩෙන කල්හි සමාජයටද හුරු පුරුදු විය යුතු වේ. සමාජයට අනුගත වෙමින් සමාජය තුළ ජීවත්වන ආකාරය, ගනුදෙණු කරන ආකාරය යනාදී සමාජයට මෙන්ම සංස්කෘතියට හුරු පුරුදු විය යුතු වේ.මෙම සමාජයට, සංස්කෘතියට හුරු පුරුදු කිරීමේ ක්‍රියාවලිය සමාජාන්යෝජනය ලෙස පෙන්වා දිය හැකිය. මේ පිළිබද විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇත. ඒ ඔස්සේ විමසා බලමු.
01.බොගර්ඩස් ට අනුව ,
"එක්ව වැඩ කිරීම, සමාජ සමූහ අතර වගකීම්, බැදීම් වර්ධනය කර ගැනීම හෝ එකිනෙකා අතර සුභසාධන අවශ්‍යතාවයන් සදහා මග පෙන්වීම ලබා දීමේ ක්‍රියාවලියකි" 02. ඩබ්ලිව්. එෆ්. ඔග්බර්න් ට අනුව, "පෞද්ගලිකව ලබා ගන්නා ඉගෙනීම්,සමාජ සමූහ තුළ පවතින්නා වූ අගනාකම්, ධර්මතා වලට අනුව තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියකි" 03. පීටර් වර්ස්ලි ට අනුව, "සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට විසරණය කරනු ලබන්නේ සමාජානුයෝජනය මගිනි" 04. එමිල් ඩුර්ක්හයිම් ට අනුව, "පුද්ගලයා සමාජයේ ඇති ක්‍රියා, ආකල්පයන් යම් යම් රටාවලට අනුකූලව හැඩගස්වා ගන්නා බවත්, එය සමාජානුයෝජනය ලෙස හැදින්විය හැකි බවත්ය" 05. හැරී එම්. ජොන්සන් ට අනුව, "දෙමාපියන් පිළිගත් ධර්මතාවයන්, දරුවන් විසින් අභ්‍යන්තරීකරණය කර ගනිමින් යහපත්, සුපහන් සිතක් තනා ගැනීමේ ක්‍රියාවලියයි" ඉහත නිර්වචනයන් සමස්ථයක් ලෙස බලන කල්හි සමාජානුයෝජනය යනු, "පුද්ගලයා මාජයට හුරු කරවන ක්‍රියාවලියකි.නොහොත් ජීවිත කාලය පුරාම නොනවතින ක්‍රියාවලියකි" යන්න පෙන්වා දිය හැකිය. සමාජානුයෝජනය විශ්ලේෂණය කළ හැකි ත්‍රිවිධාකාර ප්‍රවේශයන් දැකගත හැකිය. ඒවා නම්, 01. සමාජ විද්‍යාත්මක එළඹුම 02. මානව විද්‍යාත්මක එළඹුම 03. මනෝ විද්‍යාත්මක එළඹුම වශයෙනි. සමාජානුයෝජනය පරීක්ෂා කිරීමේදී පුද්ගලයා සහ සමාජය අතර ඇති සබදතාව වැදගත් වේ. එම සබදතාවය, - සමාජයට ඵලදායී ආකාර වූ සහභාගීත්වයක් ලබාදීමේ පදනම සැපයීමට - සමාජමය හැකියාවන් ගොඩංවා ගැනීමට
වැදගත් වේ. එසේම සමාජානුයෝජනයකින් තොරව පුද්ගලයාට හෝ සමාජයට පැවැත්මක් නැත. තවද මෙයට ජානමය මෙන්ම පාරිසරික බලපෑම බලපානු ලබයි. ජානවලින් ලැබෙන සාධක වැඩි දියුණු කිරීමටත්, විනාශ කිරීමටත් පරිසර සාධක වලට හැකියාක් පවතී. නිදසුනක් ලෙස, පූර්ව ප්‍රසව අවධියේදී මව ගන්නා ආහාර පාන, මානසික මට්ටම, මවට වැළදෙන රෝග ආදියට ආරමය උරුමයන් විනාශ කළ හැකිය. මෙහිදී "හැරී එෆ් හාර්ලෝ" නම් මානව විද්‍යාඥයා වදුරු පැටියෙකු සහ කෘතිම වදුරන් දෙදෙනෙකු යොදාගෙන කළ පරීක්ෂණය පෙන්වා දිය හැකිය. ජීව විද්‍යාත්මක සාධකයන් පරිපූර්ණ වූ පමණින් පුද්ගලයෙකුගේ ජීවිතය සම්පූර්ණ නොවේ. මේ පිළිබද කිංස්ලි ඩේවිස් 1949 දී "ඇනා සහ ඉසබෙලා" යන දරුවන් දෙදෙනා සම්බන්ධව ඉදිරිපත් කළ වාර්තාව කදිම නිදසුනකි.
මාග්‍රට් මීඩ් නම් මානව විද්‍යාඥයෙකු නිව්ගිනියාවල ඇති මුණ්ඩුගුමාර් හා ඇරපේෂ් නම් ගෝත්‍රික සමාජ පිළිබද අධ්‍යනයක් කර තිබේ. ඒ අනුව, ***මුණ්ඩුගුමාර්***
- මව්වරුන් තම දරුවන්ට කිරි දීම හිරිහැරයක් සේ සලකනු ලබයි.
- බඩගින්න තිබියදීම කිරි දීම නවතයි.
- අසහනකාරී හා ආක්‍රමණශීලී බව දරුවන් තුළ ඇති වේ.
***ඇරපේෂ්***
- තමන්ට මෙන්ම ළදරුවන්ටද ආශ්වාදයක් ලැබෙන දෙයක් ලෙස කිරි දීම සලකන අතර මොවුන් දරුවාට අවුරුදු හතරක් වන තුරුම කිරි ලබා දෙයි.
- අහිංසක, හිරිහැර නොකරන තත්ත්වයක් දරුවන් තුළ ඇති වේ.
සමාජානුයෝජනීය කාරක ලෙස ප්‍රාථමික හා ද්විතියික සමාජානුයෝජනයන් පෙන්වා දිය හැකිය. ප්‍රාථමික සමාජානුයෝජනය යටතේ,
පවුල දැක්විය හැක.මින් විවිධ බලාපොරොත්තු, ඇගයීම්, සමාජ ප්‍රතිමාන හා සාරධර්ම උගන්වයි.මෙහි මවගේ කාර්යභාර්ය ඉතා ඉහළයි.එසේම පෞරුෂත්වය ගොඩනැගීම ආරම්භ වන්නේද මෙහිදීය.
ද්විතියික සමාජානුයෝජනය යටතේ,
පාසල, සමවයස් කණ්ඩායම්, මහා සමාජය යනාදිය දැක්විය හැක.
සමාජානුයෝජනයේ විවිධ ප්‍රභේදයන් දැකගත හැකිය. ඒවා නම්,අපේක්ෂිත සමාජානුයෝජනය, සංවර්ධනාත්මක සමාජානුයෝජනය, පුනර් සමාජානුයෝජනය, වැරදි සමාජානුයෝජනය යනාදිය දැක්විය හැකිය.එසේම සමාජානුයෝජනයේ වැදගත්කම් ලෙස, * පුද්ගලයාගේ පෞරුෂ වර්ධනය * හිංසකත්වය පාලනය * සබදතා ගොඩනැගීමට හුරු වීම * හරි වැරදි දේ පිළිබද සිතීමට යොමු වීම * සංස්කෘතියට හැඩගැසීම * සමාජයේ අසම්මත යැයි දේ කිරීමට නොපෙළඹේ ආශ්‍රිත ග්‍රන්ථ 01. පෙරේරා බී. ඒ. ටී., 1993, මානව විද්‍යා හා සමාජ විද්‍යා ප්‍රවේශය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ,කොළඹ 02. අමරසේකර ඩී., 1987, සමාජ විද්‍යාව සිද්ධාන්ත හා විධික්‍රම, ආරිය ප්‍රකාශකයෝ, වරකාපොල 03.පීරිස් ආර්., 1984, සමාජ විද්‍යා ප්‍රවේශය, පරිවර්තනය වීරසේකර පී., අන්තර් ජාතික සහයෝගීතාව සදහා නෙදර්ලන්තය විශ්වවිද්‍යාල පදනම 04. Philip B., 1971, Sociology, Mcgraw Hill
සැකසුම- 😊නිපුනි භාග්‍යා පීරිස්, සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය 😊
Comments
Post a Comment