ගෝලීයකරණයට එරෙහිව ලාංකේය හා ගෝලීය ව්‍යාපාර
ගෝලීයකරණය වර්තමානය වන විට අධ්‍යාපනික, දේශපාලනික, ආර්ථික, සෞඛ්‍ය, ආගමික, තාක්ෂණය, සන්නිවේදනය, කලා සාහිත්‍ය, නීතිය මෙන්ම සමාජීය යන සෑම අංශයක්ම පාහේ වසාගෙන හමාරය. එය යහපත් ආකාරයෙන් මෙන්ම අයහපත් ආකාරයෙන් දැකගත හැකිය. මෙම පැතිකඩයන් දෙකම විමසා බලන කළ ගෝලීයකරණය වැඩි වශයෙන් සෑම අංශයක් කෙරෙහිම අයහපත් ලෙස බලපාන බව දැකගත හැකිය. එනිසාම ගෝලීයකරණට එරෙහිව විවිධ වූ ව්‍යාපාරයන් බිහි වී ඇත. ගෝලීයකරණයේ අයහපත් බලපෑම් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති බව පහත කරුණු මගින් තහවුරු කර ගත හැකිය.
* බහුජාතික සමාගම්වල පැමිණීමත් සමග කොකාකෝලා, පැන්ටා, ස්ප්‍රයිට් වැනි බීම ජාතිවලට හුරු වීමත් EGB නැතුව කෑම එපා සංස්කෘතිය බිහිවීමත්, මැක්ඩොනල්ඩ්, පීට්සා හට් වැනි ව්‍යාපාරයන් බිහිවීමත් සිදු විය. මේ හරහා මෙරට කුඩා පරිමාණ ව්‍යාපාර මෙන්ම කුඩා පරිමාණ වෙළදසැල් වැසී යාමත්, පාඩු ලබන තත්ත්වයන්ට පත් වීමත්, පුද්ගලීකරණයට ලක් වීමත් සිදු විය. නිදසුන් ලෙස,
1. වේයන්ගොඩ “වේටෙක්ස්‘ හා තුල්හිරිය “තුල්ටෙක්ස්“ රෙදි කර්මාන්ත ශාලාව
2. ඇඹිලිපිටිය හා වාලච්චේන කඩදාසි කම්හල්
3. පුත්තලම හා ගාල්ල සිමෙන්ති කම්හල්
4. නාත්තණ්ඩිය හා රත්මලාන වීදුරැ කම්හල්
5. පුත්තලම ලුණු ලේවාය
ඉන් සමහරකි.තවද ආයෝජන ප්‍රවර්ධන කලාප හෙවත් නිදහස් වෙළද කලාප ක්‍රමය කටුනායක, බියගම ආදී ස්ථානයන්හි නිර්මාණය වීම හා එහිදී ශ්‍රම සූරාකෑම් සිදු කිරීම.කේවල් කර භාණ්ඩ මිලදී ගැනීම වෙනුවට ෂොපිං කිරීම, ගම්බද සාප්පු පවා සුපර් සෙන්ටර් බවට පත් වීමද සිදු විය.
* ගෝලීයකරණය හරහා දේශපාලනික අංශය තුළ අධිබලැති විධායක ජනාධිපත් ධූරයක් ක්‍රියාත්මක කිරීමට පහසුකම් සලසයි. ඇතැම් දේශපාලන විචාරකයින් විසින් පෙන්වා දෙනුයේ ගෝලීයකරණ ක්‍රියාදාමය පවත්වා ගැනීම සදහා බලය දූෂණය කිරීම අත්‍යවශ්‍ය සාධකයක්ව පවතින බවයි. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය තුළද විධායක ජනාධිපති ක්‍රමය මෙන්ම මනාප ඡන්ද ක්‍රමයද පාලකයා දූෂිත බව කරා ගෙන යෑම සදහා ව්‍යුහාත්මකව බලපෑම් කරන බවයි.
* ගෝලීයකරණ සැලැස්ම යටතේ ක්‍රියාත්මක වන හරිත විප්ලවය ඔස්සේ සීමිත ඉඩකඩක වැඩි ඵලදාවක් ලැබෙන බීජත්, කෘෂි රසායන හදුන්එවා දීමත්ම, සාම්ප්‍රදායික වගා ක්‍රම අතහැර ඒ වෙනුවට ඒකීය වගාවන්ට ගොවීන් යොමු කිරීමත්, කෘතිම පෙහොර හදුන්වා දීමත් සිදු කරනු ලබයි. මේ වන විට ජාන තාක්ෂණය උපයෝගී කරගනිමින් වැඩි අස්වැන්නක් ලැබීම සදහා නිපදවන බීජ වර්ග දැකගත හැකිය. මෙම බීජවලට දෙවැනි පරම්පරාවක් තැනිය නොහැකි වීම, දේශිය බීජ වලට පරාගනය සිදු වීම නිසා වද භාවයට පත් වීම, මෙම බීජවල මිල ඉතා අධික වීම හා ගොවියාට එවැනි මිලක් දැරීමට අපහසු වීම.බහුජාතික සමාගම් මගින් විශාල ලාභ ලැබිය හැකියැයි ව්‍යාපෘති පෙන්වා දුන්නද විශාල පාඩු ලැබීමට සිදු වීම. නිදසුන් ලෙස,
1. වියළි කලාපයේ ආරම්භ කළා වූ සිගරට් හා දුම්කොළ වගාව
2. කල්පිටි ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ ගර්කින් වගාව
3. පුත්තලම කලපු තීරයේ කරනු ලබන ඉස්සන් වගාව
* අධ්‍යාපනය ගත් කළ නාගරික පාසල් වලට ළමුන් ඇතුලත් කර ගැනීමේ තරගය නිසාවෙන් ජාත්‍යන්තර පාසල් විකල්ප මාර්ගයක් ලෙස යොදා ගැනීම නිසාවෙන් අධ්‍යාපනයේ බර නැවතත් ජනතාවගේ කර පිටටම වැටී හමාරය. එසේම රටේ උසස් අධ්‍යාපනය සදහා අවකාශය පුළුල් වීම නිසා පෞද්ගලික හා විදේශ විශ්වවිද්‍යාල වලට ඇතුල වීමත් එම විදේශ රටවලම පදිංචි වී රැකියාවල නියුතු වීමත් සිදු වේ. තවදුරටත් රාජ්‍ය විශ්විද්‍යාලවලද මුදල් ගෙවන පාඨමාලා හදුන්වා දීමත්, මානව ශාස්ත්‍ර පාඨමාලා අඩපණ කිරීමත් සිදු කරනු ලබයි.
* මාධ්‍ය හරහා රියැලිටි වැඩසටහන් යනුවෙන් වැඩසටහන් විකාශය වීම. මෙවැනි වැඩසටහන් බොහොමයක් පාහේ විදත්වභාවයකින් හෝ ප්‍රබුද්ධභාවයකින් යුතු නොවේ. එසේම ලිංගිකත්වය ආකර්ෂණයට මුල් තැනක් ලබා දී ඇත. මේ බව ඇතැම් වෙළද දැන්වීම්, ටෙලිනාට්‍ය,ප්‍රාසාංගික වැඩසටහන් යනාදියන්හි ඇදුම පැළදුම පවා ලිංගික ආකර්ෂණය කර ගැනීමට යොදාගෙන ඇත. එසේම ස්වාභාවික ආහාර පාන රටාවන් නිරෝගී ජීවිතයට වැදගත්වන බව සෞඛ්‍ය පාඩමේ ඉගෙනගෙන තිබුණද වෙළෙද දැන්වීම් හරහා ක්ෂණික ආහාර වර්ග පෙන්වා දෙමින් ජනතාව ඒ සදහා පොළඹවනු ලබයි.
මේ අයුරින් ගෝලීයකරණය ජනතාවට සෑම අංශකින්ම බලපෑම් කරන බව පැහැදිලි වේ. මෙහිදී ගෝලීයකරණයට එරෙහිව ශ්‍රී ලාංක්ය ව්‍යාපාරයන් ලෙස,
1. ඉබ්බාගමුව දේවසරණ සංවර්ධන කේන්ද්‍රය විසින් 1980 ප්‍රකාශයට පත් කළ “තරණය“ සගරාව. මෙහි සංස්කරණ කටයුතු වින්සන් කුරුඹාපිටිය විසින් සිදු කළ අතර මෙහි අරමුණ වී ඇත්තේ බහුජාතික සමාගම් විසින් ශ්‍රී ලංකාවට සිදු කරන මහා පරිමාණ වසංගතයන් හෙළිදරව් කිරීමයි. මෙමගින් බහුජාතික කිරිපිටි සමාගම් මෙන්ම ඹෟෂධ සමාගම් මෙරට ආහාර හා සෞඛ්‍ය ක්ෂේත්‍රයන් ආක්‍රමණය කර ඇති වග පෙන්වා දෙන ලදී.
2. ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ (MDDR) මූල්‍ය දායකත්වයෙන්, සංස්කරණ කටයුතු වින්සන් කුරුඹාපිටිය මෙහෙයමින් කරනු ලැබූ “විවරණ “සගරාව. මෙමගින්ද ගොලීයකරණවේ ආසාධූ චර්යාවන් පිළිබද හෙලිදරව් කරන ලදී.
3. ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මූල්‍ය දායකත්වයෙන්,සංස්කරණ කටයුතු වින්සන් කුරුඹාපිටිය මෙයෙවමින් කරනු ලැබූ “සංදේශය“සගරාව
4. ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය යටතේ අත්වැල් බැදගෙන කටයුතු කරන විවිධ සංවිධානයන් ලෙස,
* දේශීය බීජ රැක ගැනීමේ ව්‍යාපාරය
* මීගමුව ජනාවබෝධ කේන්ද්‍රය
* එප්පාවල පොස්පේට් නිධිය රැක ගැනීමේ ව්‍යාපාරය
* වාමාංශික ව්‍යාපාර
*පරිසර සංවිධාන සහ වෘත්තීය සංවිධාන
යනාදිය පෙන්වා දිය හැකිය. එසේම ගෝලීයකරණයට එරෙහි ගෝලීය ව්‍යාපාරයන් ලෙස,
1. අවුරුදු 50ක් කළා ඇති යන අර්ථය දෙන "Fifty years is enough"1994 දී ක්‍රියාත්මක වූවකි.ලෝක බැංකුව තුන්වන ලෝකයේ ඊනියා සංවර්ධන මුවාවෙන් ඒ රටවල් වල ඇති කළා වූ විනාශයන් ලොවට හෙළිදරව් කළ, එම වැඩපිළිවෙලවල් නවත්වන ලෙස බලකරන ලද ව්‍යාපාරය වේ.
2. නව ධාන්‍ය ව්‍යාපාරය ඉන්දියාවේ ක්‍රියාත්මක වේ. ආචාර්ය වන්දනා ශිවාගේ මගපෙන්වීම යටතේ සිදු කරනු ලබයි.බහුජාතික වෙළදපොළ විසින් ඉන්දියාවේ බීජ වෙළදපොළ ආක්‍රමණය කිරිමට එරෙහිව කටයුතු කරයි.
3. "Third world network" හෙවත් තුන්වන ලෝක ජාලය නැමැති ජාත්‍යන්තර එකතුව මගින් ගෝලීයකරණයේ අභියෝගවලට මුහුණ දීමට තුන්වන ලෝකයේ රටවල ක්‍රියාකාරීත්වයේ එක්තුවකි.
4. "Anti Globalization Network" හෙවත් ගෝලීයකරණ විරෝධී ජාලයද ගෝලීයකරණයේ බලපෑම් වලට එරෙහිව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ව්‍යාපාරයකි.
5. "La via Campasina"ජාත්‍යන්තර රටවල් 73කුත්, සංවිධාන 164 ක නියෝජනයකුත් ඇති ව්‍යාපාරයකි.“ආහාර සුරක්ෂිතතාව “ මෙහි තේමා පාඨය වේ. ඉඩම් පරිහරණ අයිතිය, ජලය, බීජ සහ පශු සම්පත් පිළිබද අයිතීන් රැක ගැනීම වෙනුවෙන් ගෝලීය මට්ටමෙන් හඩ නගන ව්‍යාපාරයකි.
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
* ටියුඩර් ඩබ්ලිව්. (2014) “ගෝලීය සමාජය හා එහි දෘෂ්ටිවාදය“, තෝතැන්න පබ්ලිෂිං හවුස් ප්‍රකාශකයෝ
* ඩයස් එස්. එම් (2015) “ගෝලීයකරණය සහ ශ්‍රී ලංකාවේ සමාජ විපර්යාස“, ජයන් ප්‍රින්ට් ග්‍රැෆික්ස්, ගණේමුල්ල
* ප්‍රේමතිලක පී., “සන්දේශය සගරා“, ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ ප්‍රකාශනයක්
* ඩයස් එස්. එම් (2014) “සොරාගත් අස්වැන්න“,තෝතැන්න පබ්ලිෂිං හවුස් ප්‍රකාශකයෝ
සැකසුම- 😊නිපුනි භාග්‍යා පීරිස්, සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය😊
Comments
Post a Comment