විශේෂාංග යනු

ගෙවීයන සෑම නිමේෂයකම විවිධාකාර සිදුවීම් ගණනාවක් ඇති වේ. තොරතුරු දැන ගැනීමේ උණකින්,පිපාසයකින් ජනතාව නිතරම  පෙළේ. මෙවැනි තත්ත්වයක මෙම සිදුවීම් ජනතාව වෙත ගෙන යාමට පුවත්පත කටයුතු කරයි.    "පුවත්පතක් යනු නවන ලද,නොබදින ලද කොළවලින් යුත්, ප්‍රවෘත්ති විශේෂාංග හා දැන්වීම් අඩංගු සාමාන්‍යයෙන් දිනපතා හෝ සතිපතා ප්‍රකාශයට පත් කරන මුද්‍රිත ප්‍රකාශනයකි." පුවත්පතක් යන්න ඔක්ස්ෆර්ඩ් විශ්වකෝෂය තුළින් පෙන්වා දෙනු ලබයි. මේ අනුව බලන කළ පුවත්පතකට විශේෂාංගය යන්න වැදගත්ම අංගයකි. විශේෂාංගයක් යනු බොහෝවිට ප්‍රවෘත්තියට වඩා පුළුල් වූද, නොයෙක් ආකාරයේ විස්තර හා විග්‍රහයන්ගෙන් සමන්විත වූ සුනම්‍ය හා රසවත් භාෂා ශෛලියකින් ඉදිරිපත් කරනු ලබන්නකි.පාඨකයන්ගේ මනෝභාවයන්ට ආමන්ත්‍රණය කරන ආකාරය දැකිය හැකිය. විශේෂාංගය විශේෂාංග කර්තෘ මගින් සිදු වේ. විශේෂාංගයක් යනු කුමක්දැයි යන්න නිශ්චිත වූ අර්ථකථන දැකගත නොහැක. 

   "විශේෂාංගය ඇපල් ගෙඩියක රසයට හෝ තුරු වදුළු පිස හමන සුළගේ හඩට සමාන වෙයි.

                                                                                           - Fundamental of  News Reporting-

නම් ග්‍රන්ථයේ මෙලෙස පෙන්වා දෙයි. හදුනාගැනීම කළ හැකි වුවද පැහැදිලි කළ නොහැකි තත්ත්වයක් එහි පවතින බව ඉන් හැගවේ. මෙම අත්දැකීම ලබන පුද්ගලයාට එය දැනෙනවා සේම, රස විදීමටද හැකි වේ. 

"ඍජු ආරංචි ලබාදෙන්නේ ප්‍රවෘත්ති මාර්ගයෙනි, විස්තර හෝ විශ්ලේෂණ ඉදිරිපත් කිරීම සදහා විශේෂාංග යොදාගනු ලබයි. " 

                                                                                            -පුවත්පත් කලා සමීක්ෂා II , පිටුව 73- 

මින් ප්‍රවෘත්තියක් හා විශේෂාංගයක අතර වෙනස පැහැදිලි වෙනවා සේම විශේෂාංගයක් වීමට නම් පසුබිමක ඇති අවශේෂ විස්තර සහ විවිධ මත විශ්ලේෂණයන් අන්තර්ගත යුතු බවත් පැහැදිලි වේ. ජයලත් මනෝරත්න මහතාගේ අභාවය පිළිබද ආරංචිය ප්‍රවෘත්ති මගින ලබා දුන් අතර ඒ මහතා කවරාකාරයේ පුද්ගලයෙක්ද යන වග, ජීවිත පසුබිම යනාදි තොරතුරු ඒ මහතා පිළිබද ලියවුණු විශේෂාංග ලිපියකින් පෙන්වාදීම.     

" ප්‍රවෘත්තියක් යනු විශේෂාංගයක් නොවන අතර, විශේෂාංගය ප්‍රවෘත්තිය තුලින් නිර්මාණය විය හැකිය."

                                                      - සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය 2, චන්දන මාරසිංහ, පිටුව 38- 

මෙයින් කියවෙනුයේ විශේෂාංගය ප්‍රවෘත්තියක් ඉක්මවා ගිය නිර්මාණශීලී රචනයක් බවයි. දෙයාකාරව මෙය සිදු විය හැකිය. එනම්, සාම්ප්‍රදායිකව ඉදිරිපත් කරන ප්‍රවෘත්ති සම්බන්ධ කර රචනා වන විශේෂාංග හා සාම්ප්‍රදායික නොවන විවිධ මාතෘකා යටතේ රචනා වන විශේෂාංග යනුවෙනි. 

" විශේෂාංග රචනය යනු හදවතක් ඇතිව රචනා කිරීමයි. ඒ හේතුවෙන් විශේෂාංග රචකයා තමා අවට ලෝකය දෙසම ඇස්හැරබැලිය යුතුය. තවද විශේෂාංගයක් සෑමවිටම සැගවුණු තැන් ඉස්මතු කර විනෝදය, සතුට හිමිකර දෙන නවකතාවක් ලෙසද හදුන්වයි"

                                                                                                    -මේරි ගිලෙප්සි- 

" තමා විසින් ග්‍රහණය කරගනු ලැබූ දේ ග්‍රාහකයාට ඉතා සුදුසුම ආකාරයට සනනිවේදනය කිරීමට යොදාගන්නා විධික්‍රමය වේ."

                                                                                    - www.e-thaksalawa.moe.gov.lk -

               අත්දකින්නට ලැබෙන සිද්ධීන් විවිධ වන නිසාම ඒවා පදනමකොටගෙන නිර්මාණය කරනු ලබන විශේෂාංගද විවිධ ස්වරූප ගනී. ආකෘතිය, අන්තර්ගතය මෙන්ම භාෂා විලාසයද වෙනස් වේ. පුවත්පතක තිබිය හැකි විශේෂාංග මෙතෙකැයි කියා කිව නොහැකි තරම්ය. එසේම විශේෂාංග වර්ග පිළිබදව විවිධ අදහස් හා මතවාද පවතී. ඒ අනුව වර්ග ගණනාවක් දැකිය හැකිය.

1. ප්‍රවෘත්තිමය විශේෂාංග 

යම් ප්‍රවෘත්තියන් ඉදිරිපත් වූ විට ඒ සමග විශේෂාංගයකට අයත් කොටසක්ද නිර්මාණය විය හැකිය. ඇයි සහ කොහොමද යන ප්‍රශ්න මූලික කරගෙන සකස් කරනු ලබයි.

* ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණ ඉතිහාසය පිළිබද දැක්වෙන සටහන් විශේෂාංගයකට යෙදිය හැක.

2. වාර්තාමය විශේෂාංග 

කිසියම් ප්‍රවෘත්තියක් පිලිබද පුළුල් අවබෝධයක් ලබාදීමට අවශ්‍ය විස්තර හා පසුබිම ඉදිරිපත් කරයි. සමාජමය වශයෙන් විශාල මෙහෙවරක් ඉටු කරන වාර්තාමය විශේෂාංග සති අන්ත හා දිනපතා පුවත්පත්වලද දැකගත හැකිය.කාලීන බව වැදගත් වේ. එනම් පිළුණු නොවූ ප්‍රවෘත්තියක් මත පදනම් විය යුතුය. මෙහිදී ඍජුව සහභාගී වී ලියන්නන් සහ පසුබිම් ලියන්නන් යනුවෙන් වාර්තාමය විශේෂාංග  ලේඛකයෝ දෙදෙනෙකි.

* දළ පූට්ටුවාගේ මරණය ගැන

* 1997 ජූලි 06 ලක්බිම පුවත්පතේ පළ වූ “ පොලීසිය නිර්වස්ත්‍ර කළ කුලියාපිටියේ අවි ජාරාම “

*  1997 ජූලි 06 දින ප්‍රසන්න සංජීව තෙන්නකෝන් මහතා ලංකාදීප පුවත්පතට පළ කළ “ පොදු පහසුකම් නැත“

3.   විමර්ෂණාත්මක විශේෂාංග 

යම් සිද්ධියක් හෝ මතවාදයක් විමර්සණය කිරීම මෙහිදී සිදු වේ. දේශීය මෙන්ම විදේශීය සිදුවීම් ගැනද අවධානය යොමු වේ. විමර්ෂණාත්මක විශේෂාංගයක් හැදින්වීම, තේමාව, නිගමනය හෝ යොමු කිරීම යන කොටස් තුනෙන් සමන්විත වේ.  

* බ්‍රැන්ඩික්ස් ආයතනය තුලින් කොරෝනා පොකුරක් නිර්මාණය වීම ගැන

* පාස්කු ඉරුදින ප්‍රහාරය හා රටේ පවතින ආරක්ෂාව ගැන

* ලෝක ආර්ථිකය ශක්තිමත් වීම හෝ බිද වැටීම

* ස්විස් ජාතික කාන්තාව හා සම්බන්ධ සිදුවීම 

4. පෞරුෂ විශේෂාංග / පුද්ගල විශේෂාංග 

මෙහිදී යම් විශේෂ පුද්ගලයන් පිලිබද අවධානය යොමු කරයි. ප්‍රවීණ දේශපාලනඥයින්, විද්‍යාඥයින්, කලාකරුවන්, සාහිත්‍යධරයන්, ක්‍රීඩකයන් ආදී විවිධ පුද්ගලයන් පාදක කර ගනී. තවද චනප්‍රිය මෙන්ම ලෝක ගෞරවයට පාත්‍ර වූවන්ගේ පෞද්ගලික තොරතුරු, චර්යාවන් ගැන දැනගැනීමට මිනිසුන් තුළ ඇති නොනිමි ආසාව නිවීමට ලියනු ලබයි. එසේම පෞරුෂ විශේෂාංගයක් ඍජු විස්තරයක් මගින් හෝ අතීත කියුම්, කෙරුම්, සිදුවීම් පෙලගස්වමින් ලිවිය හැකිය.

* චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණියගේ මෙරට පාලන සමය ගැන

* තෙරේසා මව්තුමිය

* ෆේස්බුක්හි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්

* නෙල්සන් මැන්ඩෙලා

5. ආස්වාදනීය විශේෂාංග

පාඨකයාට ආස්වාදයක් ලැබෙන ලෙසට ලියනු ලබයි. තමා අවට ඇති පරිසරය ආස්වාදනීය වන අයුරින් හෝ මිනිසා-මිනිසුන් තුළ ඇති මානුෂික ගුණාංග ආශ්වාදනය වන අයුරින් ලියයි. මෙබදු ආස්වාදනීය විශේෂාංග සම්පාදනය කළ හැක්කේ පරිසරයට සංවේදි එසේත් නැතිනම් මානුෂික ගුණාංග වලට සංවේදී  ලේඛකයන්ට පමණි.

* පූජි කන්දේ සිට ලියමි, දම්මික ගංගානාත් දිසානායක, 1987-09-13, දිවයින ඉරිදා සංග්‍රහය

* මැරතන් ධාවනයට දස්කම් දැක්වූ ගුණපාල නම් තරුණයෙකු පිළිබද සුනිල් මාධව ප්‍රේමතිලක විසින් රචිත “ මේ සත්‍ය කතාව“

6.  ඡායාරූප විශේෂාංග

මෙහිදී ඡායාරූප ප්‍රධාන වන අතර වචන යොදා ගන්නේ ඡායාරූප හදුන්වාදීමට පමණි. මෙහිදී ඡායාරූපයක් පිළිබදව ඍජු හදුන්වාදීමකට වඩා සිද්ධියට අදාළව නිර්මාණශීලීව වචන පෙළ ගැස්වීමට සංස්කාරකවරයා උත්සුක වේ.

* ප්‍රේමදාස හා ගාමිණී දිසානායකයන් ඝාතනය

* ලෝක ක්‍රිකට් ශූරතාවලිය දිනා ගැනීම

* නිදහස් සමරු උළෙල

මීට අමතරව  ඓතිහාසික විශේෂාංග, චාරිකා විශේෂාංග, ක්‍රීඩා විශේෂාංග, කලා විශේෂාංග, පසුබිම් විශේෂාංග, කාලීන විශේෂාංග,  විශේෂ විශේෂාංග, ස්වයං අත්දැකීම් විශේෂාංග, නීතිය පිළිබද විශේෂාංග, විද්‍යාත්මක විශේෂාංග,  වනිතා විත්ති විශේෂාංග, සමාස සංස්ථා පිළිබද විශේෂාංග, සංස්කෘතික විශේෂාංග, දේශපාලන විශේෂාංග, තීරුලිපි, කතුවැකිය, කාටූනය, චිත්‍ර කතාව, හරස් පද ප්‍රහේලිකාව, අපදාන රචනා යනාදියත් දැකගත හැකිය.

සැකසුම-  😊නිපුනි භාග්‍යා පීරිස්, සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය😊

Comments

Post a Comment

Popular posts from this blog

පෞරුෂය යනු

සමාජානුයෝජනය

ජනමාධ්‍ය සංදේශ සෘජුව හා වක්‍රව සමාජ බලපෑම් ඇති කරයි.(රූපවාහිනිය ඇසුරින්)