තීරු ලිපි යනු හිඩැස් පිරවීමක් නොවේ.

 ලිඛිත සන්නිවේදනය මුල් කොටගත් මෙවලම පුවත්පතයි. එහි අඩංගු වන තීරු ලිපිය වූ කලී පුවත්පතක සුවිශේෂී අංගයක් වේ. එය ප්‍රවෘත්ති වාර්තාවකට වඩා වෙනස් වූවකි.තවද කතුවැකියට, විශේෂාංග ලිපියකට, විවේචනයකට ඉදුරාම වෙනස්‍ වේ.වචන 250-750 ත් අතර වන තීරු ලිපිය සංක්ෂිප්තතාව ආත්මකොට ගත්තකි. මෙවැනි වචන සංඛ්‍යාවක් සහිත ලියවිල්ලකින් සමාජයට විශාල බලපෑමක් එල්ල කළ හැකි බව ඇමරිකානු පුවත්පත් කලා විශ්වකෝෂය පෙන්වා දෙයි. තීරු රචනාකරණය පුවත්පත් කලාවට එක් වී ඇත්තේ,

- පිටුවක තීරුවක් පිරවීම සදහා අවශ්‍ය සන්දේශ අවශ්‍ය වීම

- නිසරු ලේඛන ලෙස ඇතමුන් විසින් ඉවත දමන දේ සරුකොට ඵල කිරීම

යන කාරණා මත වේ. වර්තමානයේ ඉහත සදහන් කළා වූ වචන ප්‍රමාණය ඉක්මවූ දීර්ඝ තීරු ලිපි ඇත. මුල්ම යුගයේ පුවත්පතේ ඉහළ සිට පහළට තනි තීරුවක තීරු ලිපිය පළ වූවද  අද එය වෙනස් වී ඇත. සාර්ථක තීරු ලිපියක් තුළින් තීරු ලිපි රචකයාගේ අනන්‍යතාවය විදහා දැක්වේ.

ප්‍රථම තීරු ලිපිය පළවී ඇත්තේ, 1768 වසරේදීය. "ඇමරිකාවේ බෝස්ටන් ඊවිනින් පෝස්ට්" පත්‍රයෙහි සතියකට වරක් පළ වූ "තොරතුරු සංග්‍රහය" නම් කෙටි තීරු ලිපියයි.මෙකල ඇමරිකානු පුවත්පත් කලාවේ සිටි තීරු ලිපි රචකයන් ලෙස මයික් රොයිකෝ, සුසී, ආචාර්ය ජොයිස් යන්නවුන් පෙන්වා දිය හැකිය. 

සිංහල පුවත්පත් වංශ කතාවට ක්‍රි.ව. 1909 දී "දේශනාපාල" යන ආරූඪනාමයෙන් "ආගම දේශනාව" ගැන ලියූ තීරු ලිපිය එක් විය.ලක්මිණි පහන පත්‍රය තුළ එය පළ විය. මාර්ටින් විවික්‍රමසිංහ, නිහතමානිද මැල්, චන්ද්‍රසේන මානවසිංහ යනාදීන් ලාංකික තීරු ලිපි රචකයින් වේ.

අතීත හා වර්තමාන තීරු ලිපි මෙසේ පෙන්වා දිය හැකිය.

**අතීත**

1. සීයාගේ කෝලම- දිවයින ඉරිදා සංග්‍රහය

2. කරළිය-   එඩ්මන් රණසිංහ, දිවයින(1985), "මේ පටලැවිල්ලට අවුලට හේතුව පැහැදිලිව හිතන්නට බැරිකමයි. අරමුණු පටලවා ගත්තමත් ඕක ඇතිවෙනවා"

3. ගොඩයාගේ කෝළම- රාවය පුවත්පත

4. සත්‍යවාදියෙකුගේ දිනපොත- ලක්දිව

5. කවුළුව- කඩුවානේ පියදාස, සිළුමිණ 

6. අලු සමුළුව- ඇත්ත පුවත්පත

7. හතර වටේ තීරුව- උපාලි තෙන්නකෝන්, දිවයින

**වර්තමාන**

1. සිතක සිතුම්-  ජයන්තා රුක්මණී, නවලිය

2. බණ්ඩාරගේ වාක්‍ය- තිඹිරියාගම බණ්ඩාර

3. කසුරිගේ කෝලම- කරුණාදාස සූරියආරච්චි 

4. සිරා ලියූ වැකි

5. පැණි වළලු- මහාචාර්‍ය ගංගානාත් 

6. බලු ජාතකය- අරිසෙන් අහුබුදු

පෙන්වා දිය හැකිය. මීට අමතරව තීරු ලිපිවල ලක්ෂණ ලෙස,

* තිඹිරිගෙයි සිට  මළගම දක්වා ප්‍රීති සෝමනස්සයන් මෙන්ම දුක්ඛ දෝමනස්සයන්ද විෂය වෙයි.

* සමකාලීන සමාජ ප්‍රශ්න යොදා ගනී.

* තීරු රචකයාගේ නිර්මාණ ශක්තිය අනුව තීරු ලිපියේ සන්දරභය වෙනස් වේ.

* නිර්මාණාත්මක ගුණය ඇත. " තීරු ලිපියක් යනු නිර්මාණාත්මක කෘතියකි"

* සංකේත භාවිතය- යම් සංකල්පයක් වක්‍රෝත්තියෙන් හා සංසන්දනාතමකව ඉදිරිපත් කරයි. "සීයාගේ කෝලම", "භූත රිපෝටර්",         "ලුනටික්කා"

* උපහාස, උපදේශන මෙන්ම උපමා කතාද ඇත. "මේවා බොරුද- සිංහාසනයක් ඔටුන්නක් ලැබූ පමණින් සිංහයෙකුට සිංහාසනයේ වාඩිවෙන්නටත්,ඔටුන්න පළදින්නටත් බැරිය කියන්නේ බොරුද?"  අධිරාජ්‍යවාදී හැගීම්වලට නිර්දයව ප්‍රහාර එල්ල කරනුයේ උපහාසාත්මකවය.

* එදිනෙදා තොරතුරු හා සිදුවීම් අන්තර්ගත වේ. "කරළිය- දිවයින පුවතපත" 

* සාහිත්‍ය, නාට්‍ය, සිනමා, කලා, දේශපාලන, ආගමික, විකට හා කාන්තා ආදී විවිධ අංග ගැන සැලකිලිමත් වී ඇත. " මානිගේ තීරුව- සමාජ සිදුවීම්", " ඉස්කෝල මහත්මයාගේ දිනපොත- කරුණාදාස සූරියආරච්චි, එදිනෙදා ප්‍රශ්න නාට්‍යාන්‍ය්සාරයෙන් සාකච්ඡාවට ලක් කරයි" ,  "යකාගේ දිනපොත", "සදරුවන්ගේ තීරුව"

* සංක්ෂිප්තභාවය

මේ අනුව විමසා බලන කළ තීරු ලිපියක් යනු හිඩැස් පිරවීමක් නොවන බව තහවුරු වේ. වර්තමානයේ මේ ආකාරයේ සේවාවක් ඉටු කරන තීරු ලිපි රචකයාගේ කාර්යභාර්‍යට බාධා පැමිණ ඇත්තේ, වාණිජ ව්‍යාපාර හා දේශපාලන ප්‍රවේග වලින් බව 1986.10.04 දින දිවයින පුවත්පතට පස් වසරක් සපිරි අතිරේකයට ලිපියක් ලියමින් ආචාර්‍ය් සුනන්ද මහේන්ද්‍රයන් පෙන්වා දෙයි. තවද කොළොඹ යුගයේ කවියෙකු වන ආරියවංශ පතිරාජයන් පෙන්වා දෙන්නේ තීරු ලිපි රචකයන්ව අගයා ඇති බවයි. එහිදී එදා ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් පළ වූ තීරු ලිපි පිළිබද ඔහුගේ අදහස වී ඇත්තේ, 

"  ෆලයි බයි" නයිට් ධනපති පන්තිය රැක්කා

"ජේතස්"  තියුණු ඇසකින් නව ලොව දැක්කා

" මයුරපාද" වූයේ දිනමිණ ලොක්කා

" සිළුමිණ" ඔප වුණේ හින්දයි කමලක්කා

යනුවෙනි. 

® ආශ්‍රිත ග්‍රන්ථ ®

1. පුවත්පත් කලා සමීක්ෂා II

2. වී.මු දිවානි හෙට්ටිගේ,"සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය"

3. ගාමිණී සුමනසේකර, "සන්නිවේදනය විශේෂාංග රචනය හා තීරු ලිපි", පිටුව 85

4. කිත්සිරි නිමල් ශාන්ත,1993, "සිංහල පුවත්පත් තීරු ලිපියේ විකාශනය හා සන්නිවේදනය", ඇස් ගොඩගේ සහෝදරයෝ, වැල්ලම්පිටිය

5. සුනන්ද මහේන්ද්‍ර ,"තීරු රචකයා ඉතිහාසයට එක් වූ දා"

6. බී. ඒ. සිරිවර්දන, " සිරා ලියූ වැකි", ග්‍රැෆිකෙයා, රාජගිරිය

7. කුමාරතුංග මුනිදාස, " ලක් මිණි පහන් කතු වැකි" 

සැකසුම- 😊නිපුනි භාග්‍යා, සිංහල හා ජන සන්නිවේදන අධ්‍යනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය😊




            


 

Comments

Post a Comment

Popular posts from this blog

පෞරුෂය යනු

සමාජානුයෝජනය

ජනමාධ්‍ය සංදේශ සෘජුව හා වක්‍රව සමාජ බලපෑම් ඇති කරයි.(රූපවාහිනිය ඇසුරින්)